Sri Bodhiraja Foundation
Home ගවයින් නිදහස් කිරීම කොවුල්ආර ගව අනාථාගාරය

කොවුල්ආර ගව අනාථාගාරය

මේ යුගයේ අවභාවිතයට හා අසාධාරණයට ගොදුරු වූ සම්පත ගව සම්පතයි. කිරිගෙන, වැඩ ගෙන, අවසානයේ මසට විකිණෙන ඒ ඛේදාන්තය අවම කරලනු පිණිස කොවුල්ආර ගව අනාථාගාරය විවෘතව පවතියි. ගවඝාතනාගාර වලින් නිදහස් කරනු ලබන්නා වූද, උසාවි මගින් රාජසන්තක කරනු ලබන්නා වූද, අනාථව අසරණව මරණමුඛයේ සිටින්නා වූද එළ මී ගවයින් පිළිගෙන සුරක්ෂිත කෙරෙන මේ භූමිභාගය අක්කර 100කින් සමන්විතය. මහජන ආධාර යටතේ පවත්වාගෙන යන මේ සේවාස්ථානයේ දැනට සතුන් 150ක් පමණ පිළිසරණ ලබති.

කොවුල්ආර ගව අනාථාගාරය

විවිධ බාධා හා කරදර මධ්‍යයේ 2008 වසරේ සිට පවත්වාගෙන එන මේ සේවාව ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම දක්නට ලැබෙන ඒ වර්ගයේ එකම සත්ව සුභ සාධන මධ්‍යස්ථානය යි. මේ දක්වා කරගෙන ආ මේ ස්වේච්ඡා සේවාවට උපහාර වශයෙන් 2016.06.18 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් අතින් මේ ඉඩම් කොටසේ අයිතිය ශ්‍රී බෝධිරාජ පදනම වෙත පවරන ලද බව පුණ්‍යානුමෝදනා පූර්වකව දන්වා සිටිමු.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ බල ප්‍රදේශ කාර්යාලයේ කළමනාකාර ආර්. බී. සිරිසේන මහතා ප්‍රධාන නිළධාරී භවතුන් මෙන් ම මොණරාගල මහදිසාපතිනි පද්මා කුලසූරිය මහත්මිය සහ මිනින්දෝරු කාර්ය මණ්ඩලයද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමු. ශුෂ්ක හා නිසරු භූමියේ තෘණවගාව මෙතෙක් සාර්ථක කර ගැනීමට නොහැකිව ඇති හෙයින් මේ වන විට පිටතින් තණකොළ සපයා ගැනීමට සිදුවී ඇත. ඒ සඳහා දැනට දිනකට රු. 4000.00 ක් පමණ මුදලක් වැය කිරීම බලවත් ගැටළුවක් බවට පත්වී තිබේ.