Sri Bodhiraja Foundation
Home ගවයින් නිදහස් කිරීම කිරි ගවයින් නිදහස් කිරීම

කිරි ගවයින් නිදහස් කිරීම

අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරි එළදෙනුන් පරිත්‍යාග කිරීමේ වැඩසටහන දැනට දිවයින පුරා තෝරාගත් ගම්මාන රැසක ක්‍රියාත්මකය. විශාල වශයෙන් විදේශ විනිමය වැය කෙරෙන කිරිපිටි භාවිතය වෙනුවට වඩාත් පෝෂ්‍යදායක දියර කිරි භාවිතයට ජනතාව පෙළඹ වීම, පවුලේ පෝෂණය සමග අමතර ආදායමක් සඳහා මග සැලසීම, ගවමස් කෑම වළකාලමින් මෙත් කරුණා ගුණ පෙරදැරිව ගවයින් රැක බලා ගැනීම ආදී උදාර අරමුණු පෙරදැරිව සිදුකෙරෙන මේ සමාජ, ආර්ථික මහා සත්කාරය යටතේ සෑම මසකම අවම වශයෙන් කිරි දෙනුන් 100ක් පරිත්‍යාග කෙරේ.

කිරි ගවයින් නිදහස් කිරීම

යාපනය කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ පමණක් මේ වන විට කිරිදෙනුන් 700ක් පමණ පරිත්‍යාග කර ඇත. 2000 වසරේ ඇරඹුණු මේ සේවාව යටතේ කිරිදෙනුන් 7500 කටත් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඒ සතුන් පිළිබඳ පසුවිපරම් කටයුතු සංවිධානය හරහා නිරතුරුව සිදු වෙයි. තායිවානයේ පූජ්‍යතර හයිතාඕ හිමිපාණන් ප්‍රධාන දායක පිරිස සහ සිංගප්පූරුවේ බෝධිරාජ බෞද්ධ සමිතිය සමග ශ්‍රී ලංකා පරිත්‍යාගශීලී පින්වතුන් මේ සඳහා දායකත්වය දරති.

අභය දානය හෙවත් සතෙකුගේ ජීවිත බේරා ගැනීම බෞද්ධ චර්යාමාර්ගයේ ඉතාම වැදගත් ක්‍රියාකාරකමක් ලෙස පිළිගැනේ. ඒ මගින් පවුලට පෝෂණය සැපයේ නම්, හෝ පවුලකට ආදායම් මගක් සැපයේ නම් ඒ අභයදාන පිංකම තවදුරටත් මහත්ඵල වන්නේය. එනිසාම ගව අභයදානය හුදු පිංකමක් පමණක් වශයෙන් නොව රටේ ආර්ථිකය ගොඩ නංවන ජාතික මෙහෙවරක් ද වන බව පැහැදිලි ය.

කිරිගව අභයදානය යනු ආගමික වැදගත්කමකින් යුතු පුණ්‍ය ක්‍රියාවක් පමණක් නොවන බව පැවසිය යුතුය. ශ්‍රී ලාංකීය ජාතියේ අනාගතය සුරැකෙන්නේ ශාරීරික නිරෝගීතාව හා ආර්ථික ස්වයංපෝෂණය පදනම් කරගෙන ය. දේශීය ගව සම්පත රැකගෙන ඒ මගින් දියර කිරි භාවිතාවට ජනතාව යොමුකර කිරිපිටි මාෆියාවෙන් ජාතිය සුරක්ෂිත කිරීම ගව අභයදානයේ එක් වැදගත් ප්‍රාර්ථනාවකි.