ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් කලබල බිංදු ළමා සංවර්ධන මධ්‍යස්ථානය - හම්බන්තොට

කලබල බිංදු ළමා සංවර්ධන මධ්‍යස්ථානය - හම්බන්තොට

හම්බන්තොට සිප්පිකුලමේ පිහිටි මේ සුවිශේෂී ළමා මධ්‍යස්ථානය දිනපතා පාසල් කාලයෙන් පසු ක්‍රියාත්මක ය. පාසලේ කටයුතුවලදී ද ගෙදරදොර සාමාන්‍ය ජීවිතයේදී ද අධි ක්‍රියාකාරකම් දක්වන සහ හික්මවීමේ ස්වභාවය අඩු 1 වසර සිට 10 වසර දක්වා වූ ගැහැණු සහ පිරිමි දරුවන් වෙනුවෙන් විශේෂිත වූ පුහුණු වැඩසටහනක් මෙහිදී අනුගත ය.

කලබල බිංදු ළමා සංවර්ධන මධ්‍යස්ථානය - හම්බන්තොට

සිංහල, දෙමළ, මුස්ලිම් දරු දැරියන් 60 ක් පමණ දැනට සේවය ලබන අතර ඔවුන්ට පුහුණු ගුරු උපදේශනයක් මෙන් ම දෛනික ආහාර වේලක් ද පිරිනැමෙයි. සාමාන්‍යයෙන් මාස 6 ක පමණ කාලයකදී මේ දරුවන් වැඩිහිටි හා ගුරු උපදෙසට අවනතවීම, අනිත් ළමයින් සමග පොදු ක්‍රියාකාරකම්වලට අනුගතවීම ආදී ගුණාංගයන්ට යොමුවන අයුරු දක්නට ඇත.

සාමාන්‍ය සමාජ ආකල්පය වන්නේ දක්ෂ දරුවන් පමණක් ඉහළට ඔසවාගෙන යාමයි. දක්ෂයන් පමණක් තෑගි ලබන, දක්ෂයන් පමණක් ඉදිරියට තල්ලු කරන ක්‍රමය යටතේ දක්ෂයන් නොවන දරුවන් තුළ ඇතිවන්නේ හීන මානයකි. විශේෂයෙන් පොත පතේ ඉගෙනුමට උනන්දුවක් නැති එහෙත් වෙනත් විවිධ ක්‍රියාකාරකම්හි දක්ෂතා ඇති දරුවන්ට මේ ක්‍රමය යටතේ සිදුවන්නේ බලවත් අසාධාරණයකි. අවසානයේ තරඟ විභාගවලින් අසමත්ව පාසලෙන් ඉවතට විසිවෙන මේ දරුවෝ ඉතා පහසුවෙන් ම අපරාධකාරී කල්ලි කණ්ඩායම්වල ගොදුරු බවට පත්වෙති. මේ තත්ත්වය වෙනස් කරන්නට නම් කලබල බිංදු සංකල්පය අනිවාර්යයෙන් ම රටපුරා ක්‍රියාත්මක කළ යුතු බව බෝධිරාජ පදනමේ අදහසයි.