ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව සුභසාධන සේවාවන් ඉන්දසාර නිවාසය - දෙහිඅත්තකණ්ඩිය

ඉන්දසාර නිවාසය - දෙහිඅත්තකණ්ඩිය

ළමයින්ගේ වර්තමානය රටේ අනාගතය වේ. ඔවුන් තුළ කායික වශයෙන් පමණක් නොව මානසික, සදාචාරාත්මක, ආධ්‍යාත්මික හා සාමාජීය වශයෙන් ද පූර්ණ වර්ධනයක් ඇතිකරලීම වැඩිහිටි පරපුරේ වගකීමයි. දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජන වලින් මුදා ගැනීම විශේෂයෙන් වර්තමානයේ දෙමව්පිය වැඩිහිටි සැමගේ බැරෑරුම් වගකීමක් බවට පත්ව ඇත.

ලෝකයේ වඩාත් යහපත් දේ අයිති දරුවන්ට ම ය. මේ අනුව දරුවා පිළිබඳ පළමු රැකවරණය දෙමව්පියන් කෙරෙන් ද දෙවනුව ගුරුවරුන් කෙරෙන් ද තෙවනුව වැඩිහිටියන් කෙරෙන් ද සැලසිය යුතුය. සමස්තයක් ලෙස රට ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව බැඳී සිටී.

එසේ නමුත් අද එවන් පරිපූර්ණ ආරක්ෂාවකින් තොර අපේම දරුවන් එකොළොස් දෙනෙක් අංක 65, අරලගංවිල පාර, දෙහිඅත්තකණ්ඩිය, ඉන්දසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සෙවන ලබති. එවන් අසරණ මල් කැකුළුවන් ගැහැණු දරුවන් හට සරණ වන්නට ඔවුන්ගේ නෙත් යුග පවත්නා කඳුළු බිඳු පිසලන්නට, ඒ ජීවිතවල අඳුර දුරු කොට සිත්සතන් සනසාලන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය අපේ ජීවිතයට වාසනාවක් වන්නේ ය. එවන් අවස්ථාවක් වනාහි අපේම ජීවත්වීම මගින් ඉටු විය යුතු උදාර මනුෂ්‍ය යුතුකමක් සේ ම සදා සැනසිලි දායක පුණ්‍ය කර්මයක් ද වන්නේ ය.